Wednesday, December 5, 2018

දඹර අමිල හිමියන්ට දුන්නවගේ... අපිටත් මූල්‍යමය ආධාර දෙන්න - භීක්ෂුන් ලිට්‍රෝ ගෑස් වටලයි

භික්ෂූන් වහන්සේලා පිරිසක් ඊයේ කොළඹ ලිට්රෝ ගෑස් සමාගම ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූහ. උන් වහන්සේ ඉල්ලා සිටියේ ධර්ම ප්‍රචාරය සඳහා තමන් වහන්සේලාට ද මාසික ආධාරයක් ලබා දෙන ලෙසයි. ගෑස් සමාගමේ අලෙවි ප්‍රවර්ධක තනතුරක් සඳහා පූජ්‍ය දඹර අමිල හිමියන්ට රුපියල් 95,000ක මුදලක් මාසිකව ලබා දීම හෙළිවීම මුල්කරගෙන මෙම විරෝධතාවය පැවැත් වූහ.
එහි සිටි භික්ෂූන් වහන්සේලා විසින් සමාගමේ සභාපතිවරයා වෙත ලිපියක්ද බාරදෙනු ලැබීය. ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා මුදල් ආධාර බලාපොරොත්තුවෙන් මෙම විරෝධතාවය සිදුකරන බව පූජ්‍ය ගලගම ධම්මරංසි හිමියන් සඳහන් කළහ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නීතිපතිගේ කරුණු දැක්වීම අවසන්

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අදාළ ගැසට් නිවේදනය නිසා ජනතාවය මැතිවරණයක් මගින් සිය ඡන්ද බලය භාවිත කිරීමට ද අවස්ථාවක් ලබාදී ඇති බවයි නීතිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. 
නීතිපතිවරයාගේ මෙම කරුණු දැක්වීමෙන් පසුව අතරමැදි පාර්ශවයන්ගේ කරුණු දැක්වීම ආරම්භ කෙරුණා. එහිදී මහාචාර්ය ජී එල් පීරිස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පැවසුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ ව්‍යවස්ථානුකූලව බවයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 - 2 සී සහ 62 - 2 ව්‍යවස්ථාවන් මගින් ජනාධිපතිවරයාට ඒ සදහා බලය ලැබී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නා. 
සෙසු අතරමැදි පාර්ශවකරුවන්ගේ කරුණු දැක්වීම හෙට සිදු කිරීමට නියමිතයි. ඒ සදහා හෙට (06) පෙරවරු 10ට මෙම පෙත්සම් විභාගය යළි කැදවෙනු ඇති. 
----------------------------------------------------------------------------------------------------------------------------------
ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය ගැන නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කළ අනාවරණය 
05-12-2018 11:42
පසුගිය නොවැම්බර් මස 9 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් අද (05) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දෙවන දිනට විභාගයට ගැනීම ආරම්භ වුණා.
එහිදී නීතිපති ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ මේ අවස්ථාවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල රාජකාරියක් අභියෝගයට ලක් කර ඇති බැවින් පෙත්සම්කරුවන් ඉල්ලා ඇති සහන ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි. 
එම නිසා එම පෙත්සම් ප්‍රතික්ෂේප කරන ලෙසට නීතිපතිවරයා ඉල්ලා සිටියා.
ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය කර ඇත්නම් එවැනි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 ව්‍යවස්ථාවේ දක්වා ඇති බවත් එහිදී කථානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විභාගයක් කිරීමට ඉල්ලීමක් කළ යුතු බව නීතිපතිවරයා දැනුම් දුන්නා. ඒ අනුව ජනාධිපතිවරයාගේ කටයුතු අභියෝගයට ලක් කිරීමේ ක්‍රියාව පාර්ලිමේන්තුව සතු කාර්යයක් බව නීතිපතිවරයා පවසා සිටියා.
මේ අවස්ථාවේ පෙත්සම්කරුවන් ඉල්ලා ඇති සහනය මූලික අයිතිවාසිකම් පෙත්සම් මාර්ගයෙන් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියා.
ඒ අනුව විධායයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා, ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා ලෙසට කටයුතු කිරීමේ කටයුතු මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා වැඩිදුරටත් පැවසුවා .
මෙම පෙත්සම් අගවිනිසුරු නලින් පෙරේරා, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෲ ,විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන,විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, විනිසුරු විජිත් මලල්ගොඩ සහ විනිසුරු මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ  අද   විභාගයට ගැනීම ආරම්භ වුණා .
------------------------------------
පෙත්සම් විභාගය ඇරඹෙයි 
05-12-2018 10:37

පසුගිය නොවැම්බර් මස 9 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම්  අද (05) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දෙවන දිනට විභාගයට ගැනීම ආරම්භ වුණා.
ඒ අනුව මේ වන විට නීතිපති ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණයට ඔහුගේ කරුණු දැක්වීම ආරම්භ කර ඇති බවයි nethnews.lk අධිකරණ වාර්තාකරු සඳහන් කරන්නේ.  
මෙම පෙත්සම් අගවිනිසුරු නලින් පෙරේරා, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෲ ,විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, විනිසුරු විජිත් මලල්ගොඩ සහ විනිසුරු මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද විභාගයට ගැනීම ආරම්භ වුණා. 

-----------------------------
පෙත්සම් විභාගය අදත්
(05-12-2018 06:39)

ඉකුත් නොවැම්බර් මස 9 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වැඩිදුර විභාගය අද (05) දිනයේද සිදු කෙරෙනවා.
ඒ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ල හමුවේයි.
අද දිනයේ නීතිපතිවරයාගේ දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
පෙත්සම්කරුවන් දස දෙනෙකු වෙනුවෙන් වාචික දේශන ඉදිරිපත් කිරීම ඊයේ (04) අවසන් කෙරුණා.
පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම තාවකාලිකව වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් නොවැම්බර් මස 13 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
එය දෙසැම්බර් මස 07 වැනිදා තෙක් බලපැවැත්වෙනු ඇති. ඊයේ දිනයෙන් ආරම්භ වූ මෙම පෙත්සම් විභාගය සඳහා අද සහ හෙට (06) දිනයන්ද වෙන්කර තිබෙනවා

රථගාලේ ප්‍රශ්නය යළි ඇවිස්සෙයි - කරාපිටිය රෝහලේ වෛද්‍යවරු ගුටි කෙළියක

කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ  රථගාලේ වෙනත් වෛද්‍යවරුන් ඔවුන්ගේ මෝටර් රථ නතර කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදීද විවිධ ගැටළු නිර්මාණය වුනා. තවමත් නිමාවී නොමැති එම ගැටළුකාරී තත්වය හේතුවෙන් අද (05) දිනයේදීද කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් තවත් වෛද්‍යවරයෙකුට පහරදීමක් සිදු කර තිබෙනවා.
තුවාල ලැබු වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය රෝහල් ශාඛාවේ නිලධාරීන් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡාවක් පවත්වන බවයි.එසේම අදාළ වෛද්‍යවරයාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයාගෙන්ද  ඉල්ලා සිටින බවද ඔවුන් සඳහන් කළා.